දළ විශ්ලේෂණය

පළාත් කෘෂිකර්ම, කෘෂි නිෂ්පාදන අලෙවි, සත්ත්ව නිෂ්පාදන සහ සත්ත්ව සෞඛ්‍ය සහ ධීවර කටයුතු පිළිබඳ අමාත්‍යංශය ජාතික ප්‍රතිපත්තිවලට අනුගත වෙමින් පළාත් ප්‍රතිපත්ති ක්‍රියාවට නංවාලන උතුරු මැද පළාතේ කෘෂිකර්ම, කෘෂි නිෂ්පාදන අලෙවි, සත්ත්ව නිෂ්පාදන හා සත්ත්ව සෞඛ්‍ය සහ ධීවර කටයුතු යන අංශයන්ගෙන් පළාත සංවර්ධනය කරා මෙහෙයවනු ලබන බලාත්මක පළාත් රාජ්‍ය ආයතනය වේ. පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන ආයතන දෙක වන අතර, පළාතේ මිරිදිය ධීවර හා විසිතුරු මත්ස්‍ය කර්මාන්තයට අදාළ වැඩසටහන් අමාත්‍යංශය මඟින් සිදුකෙරේ.

පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් කෘෂිකාර්මික කටයුතු සංවර්ධනය සඳහා විශාල කාර්යභාරයක් ඉටුකරනු ලබන අතර, ප්‍රධාන වශයෙන් කෘෂිකාර්මික නිෂ්පාදන හා ඵලදායිතාව වැඩිදියුණු කිරීම, අලෙවිය හා තාක්ෂණික සංවර්ධනය, කෘෂිකර්මය ආශ්‍රිත කර්මාන්ත වැඩිදියුණු කිරීම, කෘෂිකර්මය ආශ්‍රිත ආයතනවල කටයුතු ශක්තිමත් කිරීම යන ප්‍රධාන ක්ෂේත්‍ර ඔස්සේ සංවර්ධන වැඩසටහන් සැලසුම් කර ක්‍රියාත්මක කරනු ලබයි. නියෝජ්‍ය කෘෂිකර්ම ව්‍යාපෘති අධ්‍යක්ෂ කාර්යාලය හා මහ ඉලුප්පල්ලම සේවා සංස්කරණ අභ්‍යාස ආයතනය හා සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාල 6 ක් හා කෘෂිකර්ම උපදේශන කාර්යාල 32 ක් ඔස්සේ කෘෂිකාර්මික ජනතාව වෙනුවෙන් සේවා සැපයීම් සිදු කරනු ලබයි. එමෙන්ම පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් සත්ත්ව නිෂ්පාදන හා සත්ත්ව සෞඛ්‍ය සම්බන්ධ සංවර්ධන කටයුතු සිදුකරනු ලබන අතර, ප්‍රධාන වශයෙන් උතුරු මැද පළාත තුළ පශු සම්පත් නිෂ්පාදනය හා ඵලදායිතාව වර්ධනය, සත්ත්ව නිෂ්පාදන ආශ්‍රිත ආදායම් උත්පාදන හා අලෙවි වැඩසටහන්, සත්ත්ව සෞඛ්‍ය සංවර්ධනය හා ආයතනික ධාරිතාව වැඩිදියුණු කිරීම වැනි සංරචක ඔස්සේ සංවර්ධන වැඩසටහන් සැලසුම් කර ක්‍රියාත්මක කරනු ලැබේ. පළාත් අධ්‍යක්ෂ කාර්යාලය, දිස්ත්‍රික් නියෝජ්‍ය අධ්‍යක්ෂ කාර්යාලය අනුරාධපුර, දිස්ත්‍රික් නියෝජ්‍ය අධ්‍යක්ෂ කාර්යාලය පොලොන්නරුව, තිරප්පනේ සත්ව ගොවිපළ, පශු වෛද්‍ය රෝහල හා පශු වෛද්‍ය කාර්යාල 29 ක් ඔස්සේ සේවා සැපයීම් සිදු කරනු ලැබේ.

මිරිදිය ධීවර විෂයට අදාළව ධීවර නිෂ්පාදිත වර්ධන වැඩසටහන්, අලෙවි ප්‍රවර්ධන හා ධාරිතා වර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම හා මෙහෙයුම් හා අධීක්ෂණ ක්‍රියාවලිය ද අමාත්‍යංශය මඟින් සිදුකෙරේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව මුහුණ දී ඇති වත්මන් ආර්ථික හා සමාජයීය අර්බුදකාරී වාතාවරණය තුළ පළාතේ ජනතාවගේ ආහාර සුරක්ෂිතතාවය හා පෝෂණ අවශ්‍යතා සපුරාලීම සම්බන්ධයෙන්අවශ්‍ය පියවර ගැනීම පළාත් කෘෂිකර්ම අමාත්‍යංශය සතු සුවිශාල වගකීමකි. එමෙන්ම පළාතේ විසිතුරු මත්ස්‍ය කර්මාන්තයේ නියැලෙන ව්‍යවසායකයන් මෙහෙයවීම හා අධීක්ෂණය, ඔවුන් සඳහා ධාරිතා සංවර්ධන වැඩසටහන් පැවැත්වීම, පසු විපරම් කටයුතු හා ඔවුන්ගේ කර්මාන්තය සඳහා අවශ්‍ය උපකරණ ලබා දීමද අමාත්‍යංශය මඟින් සිදු කරනු ලබයි.

සියලු සංවර්ධන කාර්යයන් සඳහා රාජ්‍ය මෙන්ම රාජ්‍ය නොවන ආයතනවලද සහයෝගය ලබා ගනිමින් පළාතේ කෘෂි, සත්ත්ව නිෂ්පාදන සහ ධිවර අංශ පුළුල්කර ප්‍රධාන වශයෙන් ස්වයංපෝෂිත ආර්ථිකයක් තුළින් පළාතේ ජන දිවිය ශක්තිමත් කිරීම අමාත්‍යංශයේ අරමුණ වී ඇත.